Logo
2019 දෙසැම්බර් මස 12 වැනි බ්‍රහස්පතින්දා

පැය 48ක් ඉතිරිව තිබියදී... ලිවිය යුතුම සටහනකි...!

දසුන් වානගුරු


''ජයග්‍රහණයට පියවරු සියයකි, පරාජය අවජාතකය'' යන්න අප බොහෝ කළකට පෙර සිට අසා ඇත්තෙමු. සමහර ජයග්‍රහණ පියවරු 100ක් එකට එක්ව ''එක අරමුණකට මෙහෙයවීමෙන්'' , කැපවීමෙන් ලබාගත් උදාරතර ජයග්‍රහණ බව අමතකව යන්නට පෙර ලියා තැබිය යුතුය.

2015 ජනවාරි 9 වනදා උදෑසන වනවිට රටේ 58 ලක්ෂය පමණක් නොව 62 ලක්ෂයේද බොහෝ පිරිසකගේද හිතට වේදනාවක් ගෙන දෙමින් මහින්ද රාජපක්ෂ නම් දැවැන්ත නායකයා සිය දීර්ඝ දේශපාලන ගමන නිමකොට මැදමුලන සිය නිවස බලා ගොස් තිබුණි. මහින්දගේ දේශපාලන පරිජ්ජේදය අවසන් බව විනිශ්චය කෙරු ජනවාරි 8 රාත්‍රී වෙනතුරුම මහින්ද සමීපයේ සිටි අවස්ථාවාදී දේශපාලන නායකයින් සිය ඇදිවත ගලවා ජනතාවට සිය හෙළුව පෙන්වමින් සිරිසේනගේ පාමුල සිය නවාතැන කරගත්තේ මහින්දගේ 'එපිසෝඩ්' එක ලාංකීය දේශපාලනයේ අවසන් යැයි විශ්වාස කරමින් වන්නට ඇත. එහෙත් විමල් විරවංශ ඇතුළු තවත් නායකයින් කිහිප දෙනෙක් පරාජිත මහින්ද සොයා මැදමුලනට ගියේ ලාංකීය දේශපාලනයේ ශක්තිමත්ම තනි මිනිසා එසේ වේදිකාවෙන් බැස යා යුතු නැතැයි යන දැඩි විශ්වාසය සමගය. එදා මැදමුලනට ගොස් දේශපාලන වශයෙන් විශ්‍රාම යන්නට සිටි මහින්ද නැවත අභිමානවත් නායකයෙක් ලෙස නැගී සිටියේ විමල් ඇතුළු ඒ සමිපතමයන්ගේ අධිෂ්ඨානයෙනි !

දේශපාලන නිවටයින් සිය හෘද සාක්ෂිය පාවා දුන්නද ලක්ෂ 58ක් වූ ජනතාව තුෂ්නිම්භුත්ව බලා සිටියේ දැන් කුමක් කළයුතුද යන්න පවා වටහා ගැනීමට නොහැකිවය. ශ්‍රී ලාංකීය තනි දේශපාලන නායකයෙක් ඉදිරියේ එතරම් ජනතාවක් ගොනු වී තිබෙනු ඉතිහාසයේ කිසි කළෙක අපි අසා නැත්තෙමු. ඒ ජනතාව එක තැනකට එකතු කළ යුතුයැයි යෝජනාව එන්නේ ඒ අනුවය. ''ඔබ මහින්දගේ ලක්ෂ 58න් කෙනෙක්නම් නුගේගොඩට එන්න'' යන ඉල්ලීම එන්නේ ඒ අනුවය. ඒ වෙනුවෙන් මුලිකත්වය ගත්තේ කව්දැයි නම් වශයෙන් කීමට මෙය අවස්ථාවක් නොකර ගන්නෙමි. ඒ මූලික සාකජ්ජාවේ සිට පුරා වසර තුනක් ඒ සටනේ අභ්‍යන්තරිකව පසුපස සිට සියල්ල දුටු කෙනෙක් වශයෙන් ලිවීමට ඇත්තේ සටන එක තැනකින් පටන් ගෙන දහස් තැන් හරහා දෙගොඩතලා ගොස් ජයග්‍රහණය ලැබූ බවය. නුගේගොඩ වේදිකාව වටා රොක්වූ ජනතාවත්, නුගේගොඩ වේදිකාවට ගොඩවූ දේශපාලන නායකත්වයනුත් සටන ඇරඹුනු තැන නොදන්නවා වුවද සටනේ මුලසිට සිටි බොහෝ දෙනා එය නොදන්නවා වෙන්නට බැරිය. කෙසේ හෝ ඒ සටනෙන් ලැබුණු පන්නරයෙන් අද අප ජයග්‍රහණය කොට ඇත්තෙමු.

නුගේගොඩින් ඇරඹුනු සටන එතැන් පටන් දිවයින පුරාත් දැවැන්ත ජනතා ඒකරාශිවීම්, දැවැන්ත මැයි රැළි, දැවැන්ත පා ගමන් සමග ජනතාව තව තව ශක්තිමත් කරමින් දිනෙන් දින ජයග්‍රහණයේ මාවතටම ඇදිනි, ඒ සියල්ලගේම ප්‍රථිඵල දැන් ලැබී තිබේ, ඒ වෙනුවෙන් වේදිකාවල පමණක් නොව මහා මාර්ගයේ පවා උගුර ලේ රහ වෙන තුරු කෑ ගැසූ බොහෝ දෙනාත්, වරදාන වරප්‍රසාද වලට පයින් ගසා ජනතාවට සමීප වීමේ වරදට සිරගෙදර කුඩුවලට කොටුවූ බොහෝ දෙනාත්, සමාජ මාධ්‍ය හරහා ඒ සටහන ශක්තිය දුන් බොහෝ දෙනාත් අද ඒ සතුට නිහතමානිව සමරමින් සිටියි. ජයග්‍රහණයට පියවරු 100ක් නොව දහසක් අයිතිවාසිකම් කීවද අපි එය එතරම් ගණන් නොගන්නෙමු, මන්ද මේ ජයග්‍රාහි ගමනේ සැබෑම යෝධයන් කව්ද යන්න රටේ ජනතාව හොදාකාරවම දන්නා බැවිනි. සටනක් ජයෙන් හෝ පරාජයෙන් අවසන් විය යුතුම බව ස්ථිරවම අදිටන් කරගත් රටක් ජාතියක් වශයෙන් අප මීලඟ සටනේද විජග්‍රහනනේ අභියස සිටින්නෙමු..! තව පැය 48කින් එළඹෙන්නේ මේ විජයග්‍රාහී ගමනේ අවසානය මෙය නොව, මෙය එහි ආරම්භයම පමණක් බව මතක තබාගමු !

''එවන් විජයග්‍රාහී සටන් බිමක නැවත හමුවෙමු......!!!''

-දසුන් වානගුරු 2019 11 14






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'