Logo
2019 සැප්තැම්බර් මස 23 වැනි සඳුදා

රට සල්ලි කැන්දන කාබනික වගාව

ඉන්දික කුමාර


ලෝක වෙළඳපොළ තුළ වැඩි ඉල්ලුමක් පවතින්නේ පොහොර සහ කෘෂි රසායන යොදා වගා කරන බෝගවලට නොව "කාබනික නිෂ්පාදනවලට" ය. යුරෝපා රටවලත් අමෙරිකාවේත් මේ වන විට කාබනික නිෂ්පාදනවලට මුල් තැනක් ලබා දේ. හැකිතාක් දුරට කෘෂිරසායන වර්ගවලින් දේශීය වගාකරුවන් මුදාගනිමින්, සහතික කළ කාබනික නිෂ්පාදන වගාවට පෙළඹවිය යුතු ය. එතුළින් වැඩිපුර ආදායමක් ඉපැයිය හැකි අතර ම එය මිනිසුන්ගේ ශරීර සෞඛ්‍යයට එල්ල කරන්නේ ද හිතකර බලපෑමකි. ඩොලරයේ අගය වැඩි වීම ද අපනයනකරුවන්ට වාසිදායක බැවින්, කාබනික නිෂ්පාදන අපනයනය තුළින් විදෙස් විනිමය වැඩි වශයෙන් උපයාගැනීමේ හැකියාවක් පවතී.

අධික ලෙස කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් දිනෙන් දින සෞඛ්‍ය හා පාරිසරික ගැටලු ඉහළ යාමක් දක්නට ලැබේ. කාබනික ගොවිතැන ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතී. විෂ රසායනවලින් තොර සෞඛ්‍යාරක්‍ෂිත ආහාර වේලක් ලබාගැනීම කාගෙත් අපේක්ෂාවයි. වත්මනෙහි කාබනික නිපැයුම්වලට දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපලේ ද ඉහළ මිලක් තීරණය වී තිබීම හේතුවෙන් කාබනික වගාව වෙනුවෙන් වගාකරුවන් පෙළඹවීමේ පහසුවක් ද පවතී. මේ සියලු කරුණු සලකා බලමින් අපනයන අංශයේ සංවර්ධනය වෙනුවෙන් කාබනික කෘෂිකර්මය යොදාගත හැක්කේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර අවධානය යොමු කිරීම රටේ ආර්ථිකයට සුබදායක ය.

කෘෂි රසායනවලින් තොරව, කාබනිකව වගාකළ ආහාරවලට ලෝක වෙළඳපො‍ළේ ඇති ඉල්ලුම මැනවින් වටහා ගත් දේශීය අපනයනකරුවන් මේ වන විටත් බොහෝ නිෂ්පාදන, කාබනික නිෂ්පාදන ලෙස අපනයනය කිරීමට පෙළඹී සිටී. තේ, පොල්, පොල් ආශ්‍රිත නිෂ්පාදන, එළවළු, පලතුරු වැනි තවත් බොහෝ දේ එලෙස කාබනික නිෂ්පාදන ලෙස අපනයනය කරයි.

කාබනික සහතිකය

කාබනික පොහොර යෙදූ පමණින් ම නිෂ්පාදනයක්, කාබනික නිෂ්පාදනයක් නොවන අතර එය කාබනික නිෂ්පාදනයක් බවට තුන්වෙනි පාර්ශ්වයක් විසින් සහතික කළ යුතු ය. එම සහතික කිරීම සිදු කිරීම සඳහා ලොව පුරා විවිධ ආයතනය පවතී. ඒ වෙනුවෙන් ලංකාවේ දැනට පවතින ආයතනය වන්නේ 'කන්ට්‍රෝල් යුනියන්' ආයතනයයි. ඊට අමතරව ජපානයට ඔවුන් විසින් ම නිර්මාණය කරගත් කාබනික සහතික ක්‍රමයක් ඇත. චීනයට, කොරියාවට, ඇමරිකාවට ආදි තවත් රටවලට ඔවුන් දේශීයව නිර්මාණය කරගත් කාබනික සහතික ක්‍රම පවතින අතර ඒ ඒ රටවලට කාබනික බෝග අපනයනය කරන විට අප එම රටවල අපේක්ෂිත ප්‍රමිතියට අනුව එම නිෂ්පාදන සහතික කොට, අපනයනය කළ යුතු ය. ඒ අනුව කාබනික බෝග අපනයනයට නියමිත ක්‍රමවේදයක් ඇත. දේශීය නිෂ්පාදනවලට ලෝක වෙළඳපොළ තුළ පිළිගැනීමක් ඇති වන්නේ නියමිත ප්‍රමිතියට නිෂ්පාදන අපනයනය කරන විට ය. එහි දී අපනයන සමාගම් තමන්ගේ වගාකරුවන්ව කාබනික නිෂ්පාදන සහතික කරන අදාළ සමාගමට ඉදිරිපත්කොට වසරක් පාසා එම සහතිකය අලුත්කරවා ගත යුතු ය. ඒ සඳහා අපනයන සමාගම් විසින් වෙන වෙනම ගොවි කණ්ඩායමක් සකස් කරගෙන සිටී. එය වූ කලී කාබනික නිෂ්පාදන අපනයනය තුළින් දේශීය ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන වැඩසටහනකි. එම වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය ලබාදෙන්නේ ද වටිනා දායකත්වයකි. 'EDB'ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අපනයන ප්‍රවර්ධනය සහ සංවර්ධනය කිරීම සඳහා වූ ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වන අතර, 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ ස්ථාපනය කර ඇත. මේ යටතේ ක්‍රියාත්මක වන ජාතික කාබනික පාලන ඒකකය මඟින් මෙරට නිෂ්පාදනය කරන කාබනික වගාවේ විශ්වාසදායක බව රඳවා තබා ගැනීමට නිරන්තරයෙන් වගාකරුවන්ව මෙහෙයවයි.

එහිදී කාබනික නිෂ්පාදන සම්බන්ධයෙන් නිරන්තරයෙන් වගාකරුවන් දැනුවත් කරන අතර ඉදිරියේදී ජර්මනියේ පැවැත්වෙන කාබනික නිෂ්පාදන වෙළෙඳ ප්‍රදර්ශනයකට ද අපනයනකරුවන් 10 දෙනකු සහභාගී කරවීමට නියමිත ය. තවත් අපනයනකරුවන් කණ්ඩායමකට ජර්මනියේදී කාබනික වගාව පිළිබඳ හැදෑරීමටත් ඒ සම්බන්ධයෙන් පවතින රෙගුලාසි පිළිබදව දැනගැනීමටත් අවස්ථාව ලබා දීමට නියමිත ය. ලෝකයට ම අවශ්‍ය කරන කාබනික ප්‍රතිපත්ති සකස් කරනුයේ ජර්මනියේ පවතින අයිෆෝන් නම් ආයතනයයි. එම ආයතනය තුළ දින පහක පුහුණුවක් තෝරාගත් දේශීය අපනයනකරුවන් පිරිසකට ලබාදීමට සියලු කටයුතු සූදානම් කොට ඇත. මෙවැනි වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් කාබනික වගාව දියුණු කොට, කාබනික නිෂ්පාදනය අපනයන තුළින් දේශීය ආර්ථිකයට මහඟු පිටිවහලක් වීමට අපනයන සංවර්ධන මණ්ඩලය ඇපකැප වී සිටී. ඊට අමතරව මෙරට කාබනික වගාවේ නියැළී සිටින, කාබනික නිෂ්පාදන අලෙවි කරන සහ අපනයනය කරන සියල්ලන්ම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මඟින් ලියාපදිංචි කරගැනීම සිදු කරයි.

ලියාපදිංචියේ වැදගත්කම

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අපනයනකරුවන් ලියාපදිංචි කිරීම 1979 අංක 40 දරණ අපනයන සංවර්ධන පනතේ 29 (2) (ඈ) වගන්තිය සහ 1985 ජූනි 27 දිනැති අංක 355/14 දරන ගැසට් නිවේදනයේ දක්වා ඇති නියෝගය අනුව වර්ෂ 1985 සිට ක්‍රියාත්මක කරනු ලබයි. එසේ ම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අපනයනකරුවන් ලියාපදිංචි කිරීම ආයතනික සංවර්ධන වැඩසටහන් සඳහා පමණක් භාවිත කරනු ලබන ස්වේච්ඡා යෝජනා ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක වේ.

දේශීය වශයෙන් මේ වන විට කාබනික නිෂ්පාදන ලෙස හඳුන්වා දෙමින්, කාබනික නොවන බෝග අලෙවි කිරීම සිදු කෙරෙන අතර සෑම කාබනික නිෂ්පාදනකරුවකු ම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි වී සිටීම වැදගත් වේ.

කාබනික වගාව යනු කුමක්ද? නිවැරදිව කාබනික වගාව සිදු කරන්නේ කෙලෙසද? එහි සුරක්ෂිතභාවය සහ විශ්වාසනීය භාවය තහවුරු කරගැනීමට කළ යුත්තේ කුමක්ද? කාබනික වගාවට සම්බන්ධ විය හැක්කේ කෙසේද යනාදී කරුණු රැසක් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් නුවර, කොළඹ, කිලිනොච්චිය, මාතර විශේෂ කොට ගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශ මුල්කරගනිමින් පවත්වා ඇත. මෙම වසරේදී තවත් එවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වීමට නියමිත අතර ජාතික කාබනික පාලන ඒකකය (නැෂනල් ඕගනික් කන්ට්‍රෝල් යුනිට්) එම වැඩපිළිවෙළ ඉදිරියට පවත්වාගෙන යෑමට පෙරමුණ ගෙන කටයුතු කරයි. අපනයන සංවර්ධන මණ්ඩලයේ ජාතික කාබනික පාලන ඒකකය හා සම්බන්ධ වීමෙන් මේ සම්බන්ධයෙන් අවශ්‍ය කරුණු දැනගැනීමට ජනතාවට ඉඩකඩ විවර වී ඇත.

දේශීය වෙළෙඳ පොළ තුළ මෙන්ම ලෝක වෙළෙඳපොළ තුළ ද ආහාර බෝගවලට හැම විටම විශාල ඉල්ලුමක් පවතී. ආහාර කාටත් අවශ්‍ය වන බැවින් ඉදිරියට ද එහි වෙනසක් සිදු විය නොහැක. අපි මෙරටින් තේ, පොල්, පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු, එළවළු සහ පලතුරු නැවුම්ව, බෝතල්කොට, ඇසුරුම්කොට විවිධ අන්දමින් අපනයනය කිරීමට හුරුව සිටිමු. බොහෝ විට අපනයනකරුවන් මුහුණ පාන ගැටලුව බවට පත් ව ඇත්තේ නිෂ්පාදන සඳහා පවතින ඉල්ලුම වැඩි වුව ද සැපයිය හැකි ප්‍රමාණය සීමිත වීමයි. මහා පරිමාණයෙන් අපනයනය කිරීමට නම් අපනයන බෝග වගාකිරීමට විශාල ඉඩකඩක් අවශ්‍ය වේ. වගා කිරීමට ඉඩ පහසුකම් නොමැති නම් ඉල්ලුම වැඩි වන අවස්ථාවක වගාකරුවන්ට ක්ෂණිකව සැපයුම වැඩිකරගත නොහැකි ය. ඉඩකඩ පහසුකම් සම්බන්ධයෙන් ගැටලු දේශීය අපනයනකරුවන්ට පවතී. සැපයුම වැඩි කරගැනීමට නම් වගා කිරීමට ඇති ඉඩකඩ ප්‍රමාණය වැඩි කරගත යුතු අතර අපනයනකරුවන් බලාපොරොත්තු වන්නේ ඒ වෙනුවෙන් රජයෙන් ඉඩම් ලබාදිය යුතු බවයි. උදාහරණයක් ලෙස පොල් වගාව ගතහොත් මේ වන විට ලංකාවේ පොල් අස්වැන්න සීමා සහිත ය. පොල් අස්වැන්න අඩු කාලයට මිල ඉහළ ගිය ද සැපයුම වැඩි කරගැනීමේ ගැටලුවක් පවතී. ඒ වෙනුවෙන් වැඩි වශයෙන් පොල් වගා කළ යුතු ය. සෑම අංශයේ ම වගාව තව දුරටත් වැඩි කරගත් පසුවයි අපනයන වෙළදපොළට ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදිය හැක්කේ. නැතහොත් සීමා සහිත ප්‍රමාණයක් සැපයීමෙන්, අපනයන වැඩි කරගැනීමටත් දේශීය ආර්ථිකය වෙනුවෙන් පිටිවහලක් වීමටත් ඇති ඉඩකඩ ඇහිරෙනු ඇත.

යුරෝපයේ ඉල්ලුම

කාබනික බෝගවලට වැඩි ඉල්ලුමක් පවතින බැවින් දේශීය වශයෙන් අප අපනයනය කරන සෑම බෝග ආශ්‍රිත නිෂ්පාදනයකින් ම කොටසක් අපනයනය කරනුයේ කාබනික නිෂ්පාදන ලෙසින් ය. ඉදිරියේ දී අප වැඩි වර්ධනය කරගත යුත්තේ එලෙස කාබනිකව වගා කරන කොටසයි. ලෝක වෙළඳපොළ තුළ වැඩි ඉල්ලුමක් පවතින්නේ පොහොර සහ කෘෂි රසායන යොදා වගා කරන බෝගවලට නොව කාබනික නිෂ්පාදනවලට ය. යුරෝපා රටවලත් අමෙරිකාවේත් මේ වන විට කාබනික නිෂ්පාදනවලට මුල් තැනක් ලබා දේ. හැකිතාක් දුරට කෘෂිරසායන වර්ගවලින් දේශීය වගාකරුවන් මුදාගනිමින්, සහතික කළ කාබනික නිෂ්පාදන වගාවට පෙළඹවිය යුතු ය. එතුළින් වැඩිපුර ආදායමක් ඉපැයිය හැකි අතර ම එය මිනිසුන්ගේ ශරීර සෞඛ්‍යයට එල්ල කරන්නේ ද හිතකර බලපෑමකි. ඩොලරයේ අගය වැඩි වීම ද අපනයනකරුවන්ට වාසිදායක බැවින්, කාබනික නිෂ්පාදන අපනයනය තුළින් විදෙස් විනිමය වැඩි වශයෙන් උපයාගැනීමේ හැකියාවක් පවතී.

කලින් කලට පවතින පොහොර හිඟය, පොහොර සහ කෘෂි රසායනවල මිල ඉහළ යෑම වැනි හේතුන් ඉදිරියේ අන්ත අසරණ වන ගොවියාට ඇතැම් විට අස්වැන්න නෙළාගත් පසු ලැබෙන ආදායම, වගාව සඳහා ලබාගත් ණය බරින් නිදහස් වීමට ද ප්‍රමාණවත් වන්නේ නැත. එසේම ඇතැම් කාලවකවානුවල පොහොර හිඟයන් හේතුවෙන් යල මහ කන්න දෙකේදී ම වී අස්වැන්න අහිමි වූ අස්ථාවන් ද ඇත. එවැනි තත්ත්ව මෙරට ආර්ථිකයට මෙන් ම එදිනෙදා ජන ජීවිතයට එල්ල කරනුයේ විශාල බලපෑමකි. එවැනි වාතාවරණයක් යටතේ කාබනික වගාවට වැඩි අවධානයක් යොමු කිරීමට කටයුතු කිරීම බෙහෙවින් යෝග්‍ය වේ.

කාංචනා සිරිවර්ධන

#OrganicFoods #ControlUnion #SriLanka






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'