Logo
2019 දෙසැම්බර් මස 11 වැනි බදාදා

ඡන්ද දායකයන් පුහුණු කිරීමේ ඇමරිකානු වැඩසටහන හකුලා ගනී

මීළඟ මහා මැතිවරණයට බලපෑම් එල්ල කිරීමේ අරමුණින් ඇමරිකානු රජයට සම්බන්ධ යූ.එස්‌.ඒඩ් (US AID) සංවිධානය විසින් රාජ්‍ය නොවන සංවිධානවලට අරමුදල් සැපයීමට ක්‍රියාකිරීම ගැන ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් එල්ලවූ විරෝධතා හේතුවෙන් ඇමෙරිකානු ආධාරවලින් ක්‍රියාත්මක වෙමින් තිබුන ඡන්දදායකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් නතර කිරීමට එම ආයතනය තීරණය කොට තිබේ. "ඡන්දදායකයන් දැනුවත් කිරීම මගින් මැතිවරණ ක්‍රියාදාමයට සහයෝගය දැක්වීම" යන තේමා යටතේ එම වැඩසටහන් සංවිධානය කිරීමට උනන්දුවක් දක්වන සිවිල් සංවිධාන වෙතින් යූ. එස්. ඒඩ්. ආයතනය ව්‍යාපෘති යෝජනා කැඳවා තිබුණි. මෙය මුළුමනින්ම නීති විරෝධී ක්‍රියාවක්‌ යෑයි රජයේ ඉහළපෙළේ ආරංචි මාර්ග පැවැසීය. වැනිසියුලානු මැතිවරණයට බලපෑම් එල්ල කිරීමට ක්‍රියාකිරීම ගැන යූ. එස්‌. ඒඩ් සංවිධානය රටින් පිටුවහල් කළ බව ද එකී ආරංචි මාර්ග සඳහන් කළේය. පසුගිය වසර කීපය මුළුල්ලේ යූ. එස්‌. ඒඩ් සංවිධානය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට සම්බන්ධ වී ඇතැයි රජයේ බුද්ධි අංශ විසින් ආරක්‌ෂක කවුන්සිලය වෙත දැනුම් දී තිබිණි. මේ අතර තමා සහභාගි නොවන කිසිදු යූ. එස්‌. ඒඩ් රැස්‌වීමකට සහභාගි නොවන්නැයි ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුදා නිලධාරීන්ට නියෝග කර ඇත. ව්‍යාපෘති යෝජනා කැඳවමින් එම ආයතනය පුවත්පත් දැන්වීම් පළ කිරීමෙන් අනතුරුවයි, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ විරෝධය එල්ල වී තිබෙන්නේ. ඇමරිකාවේ ඡන්දය දැමීමේ ප්‍රතිශතය පාර්ලිමේන්තු මැතිවරණ වල දී 50%ක් වන අතර ජනාධිපතිවරණ වලදී 65%ක් පමණි. එහෙත් ශ්‍රී ලංකාවේ මෙම අගයන් 75%ක අගයක් ගනී. ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් දැනුවත් කිරීමේ වැඩසටහන්වලට ඇමෙරිකාව මුල්‍යාධාර සැපයීම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමක් බව බ්‍රහස්පතින්දා රැස්වුණු කැබිනට් මණ්ඩලයේ අදහස වී තිබිණු අතර යූ.එස්‌.ඒඩ් සංවිධානයේ කටයුතු ගැන රජය මෙරට ඇමරිකානු තානාපතිනි මිචෙලි සිසන් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ගෙන්වා කරුණු විමසීමට ද තීරණය කර තිබේ. ඉන් අනතුරුව සිවිල් සංවිධාන වෙත විද්‍යුත් පණිවිඩයක් යොමු කරන යූඑස්ඒඩ් ආයතනය, අදාළ වැඩසටහන අහෝසි කරන බැවින් ඒ සඳහා තවදුරටත් යෝජනා භාර නොගැනෙන බව දැනුම් දී තිබේ.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'