Logo
2019 නොවැම්බර් මස 12 වැනි අඟහරුවාදා

ගෝඨාභයගේ බදු සහන හා ආර්ථික ප්‍රතිපත්ති ගැන වෙළඳ සංගම් එකමුතුවේ ප්‍රසාදය



පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ව්‍යාපාරිකයින් වෙත ලබා දීමට යෝජනා කර ඇති බදු සහන මෙන්ම ආර්ථික ප්‍රතිපත්ති බොහෝ සෙයින් අගය කරන බව සමස්ත ලංකා වෙළඳ සංගම් එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ප්‍රධාන වශයෙන්ම වැට් බදු අනුපාතය සියයට 8 දක්වා අඩු කිරීම, වෙනත් ව්‍යාපාරික බදු අඩු කිරීම, උපයන විට ගෙවීම් බදු අඩු කිරීම සහ පොලී අනුපාතය තනි ඉලක්කමක් දක්වා අඩු කිරීම යන කරුණු රටේ වෙළඳ ප්‍රජාව අපේක්ෂා කළ බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

එම යෝජනා ඉටු කිරීමෙන් වෙළඳ ප්‍රජාවටත් පාරිභෝගිකයාටත් ප්‍රතිලාභ සැළසෙන අතරම රටේ ආර්ථික ප්‍රවර්ධනයට ද එය හේතුවක් වනු ඇති බව සමස්ත ලංකා වෙළඳ සංගම් එකමුතුව පවසයි.

මේ නිසා බඩු මිල අඩු වීම, සියලු පාරිභෝගිකයින්ගේ ක්‍රය ශක්තිය වැඩි වීම, ව්‍යාපාරික ප්‍රජාවට දැරීමට සිදුව ඇති අධික බදු බර අඩු වීම, සහ දේශීය නිෂ්පාදනය ප්‍රවර්ධනයට හේතු වීම යන වාසිදායක ප්‍රතිඵල අත්විය හැකි බවත් අපේක්ෂා කරන බව එම සංගමය වැඩිදුරටත් පවසයි.

එසේම මෙම බදු සහන හේතුවෙන් රජයේ බදු ආදායම තාවකාලිකව අඩු වීමක් සිදු විය හැකි වුවද එය රටේ පහළ වැටී ඇති ආර්ථික වර්ධන වේගය කෙටි කාලයකින් ඉහළ නංවාගෙන රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීමට උපකාරී වනු ඇති බවද සමස්ත ලංකා වෙළඳ සංගම් එකමුතුව සඳහන් කරයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'