Logo
2019 නොවැම්බර් මස 20 වැනි බදාදා

සෑම දිළිඳු පවුලකටම පෝෂණ මල්ලක් සමඟ රජයේ රැකියාවක්



තමා බලයට පැමිණි වහාම සෑම දිළිඳු පවුලකටම පෝෂණ මල්ලක් සහ සෑම දිළිඳු පවුලකම තරුණ සාමාජිකයෙකුට හෝ සාමාජිකාවකට රජයේ රැකියාවක් ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රධාන ජනරැලියකට අද(08) එක්වෙමින්ය.

පොළොන්නරුවේ ජන රැළියට සහභාගී වීම සඳහා අද දහවල් ගුවන් මගින් එහි පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට ප්‍රෙද්ශවාසීන් රැසක් දිඹුලාගල ක්‍රීඩංගනය වෙත පැමිණ සිටියේය.

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජනරැලි මාලාවේ පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රධාන ජනරැලිය අද පස්වරුවේ මනම්පිටිය මෛත්‍රී ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනරැලියට එක්වන අවස්ථාවේදී පැමිණ සිටි ජනකායෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

මෙම ජනහමුව පැවැත්වෙන අතරතුර එක්සත් ජාතික පක්ෂ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු නායක සහ  රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය සහාය පළකිරීම සඳහා වේදිකාව වෙත පැමිණියේය.

පොළොන්නරුව ජන රැළියට සහභාගීවීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ ගුවන් මගින් දඹුල්ලට පැමිණියේය.

ඔහුගේ පැමිණීම සැලවීමත් සමග ප්‍රෙද්ශවාසීන් රැසක් ඔහු පිළිගැනීම වෙනුවෙන් දඹුල්ල කෘෂි විද්‍යාපීඨ භූමිය වෙත පැමිණ සිටි අතර ගෝඨාභය රාජපක්ෂ මහතා එහි සිටි කෘෂි විද්‍යා පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග පිළිසඳරක නිරත වුණි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන මාතලේ දිස්ත්‍රික් ජනරැලිය අද පස්වරුවේ පැවැත්වුනේ දඹුල්ල නගර සභා ක්‍රීඩාංගණයේදීයි.‍







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'