Logo
2019 නොවැම්බර් මස 14 වැනි බ්‍රහස්පතින්දා

බුද්ධි වාර්තාවට බියවී සිදුකල සජිත්ගේ විශේෂ ප්‍රකාශයෙන් රනිල් පිල කිපේ



එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ දිනයේ හදිසියේම විශේෂ ප්‍රකාශයක් කරන ලද්දේ ජනාධිපතිවරණය ගැන නවතම බුද්ධි අංශ වාර්තාවක් ලැබීම නිසා බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර පැවසීය.

එම බුද්ධි අංශ වාර්තාව අනුව දිස්ත‍්‍රික්ක 22න් 16ක් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ජය ගන්නා බව පෙන්වා දී ඇතැයිද මන්ත‍්‍රීවරයා කියයි.

ඒ අනුව ජනාධිපතිවරණය ජය ගැනීමේ අවසන් උත්සාහය ලෙස හදිසියේම පේ‍්‍රමදාස මහතා විශේෂ ප‍්‍රකාශයක් කල බවද ඔහු කියා සිටියි.

මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කරන්නේ තම ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

 

මේ අතර 16 වැනි දා පැවැත්වෙන ජනාධිපතිවරණය සජිත් ප්‍රේමදාස මහතා ජයගත් පසු ද අගමැතිවරයා බවට පත් වන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

තමන් ජයග්‍රහණය කළ පසු අගමැති වන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය සහිත පුද්ගලයා යයි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දිනයේ කරන ලද විශේෂ පසු ඔහු මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බව ද මහ ලේකම්වරයා සඳහන් කළේය.

එජාප උප නායක රවී කරුණානායක මහතා සඳහන් කළේ ඉදිරියේදීද අගමැතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවයි.

මේ අතර එජාප හිතවාදී වෙබ් අඩවි වාර්තා කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර චම්පික රණවක හෝ වෙනත් සුදුසු පුද්ගලයෙක් අගමැතිධූරයට පත් කරනු ඇති බවයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'