Logo
2019 ඔක්තෝම්බර් මස 20 වැනි ඉරිදා

අකිල වැරැද්ද වහගන්න මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි



ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරණය සදහා වන නාම යෝජනා අත්සන් තැබීමේ අවස්ථාවට එජාප නායක රනිල් වික‍්‍රමසිංහ හෝ වෙන් ඉහල නායකයෙකු සහභාගී නොවූ හේතුව පැහැදිලි කරමින් එම පක්‍ෂ මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

එම සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට නාම යෝජනා භාර දෙන අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නායකතුමන්, මහලේකම්වරයා සහ උප නායකතුමන් ඊට සහභාගී නොවූ බව සඳහන් කරමින් විවිධ අසත්‍ය තොරතුරු සමාජගත කරමින් අවලාදාත්මක දේශපාලනයක නිතර වීමේ ගෝඨාභය රාජපක්ෂ කණ්ඩායමේ වෑයම පිළිකුළෙන් යුතුව බැහැර කරමි.

එක්සත් ජාතික පක්ෂයේ 2020 ජනපති අපේක්ෂකයා ලෙස පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මැතිතුමා පක්ෂ ඒකමතික තීරණයෙන් තෝරාගත් අතර සෙසු සන්ධානගත පක්ෂ සමඟ එක්ව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ද සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වෙයි.

නාමයෝජනා භාර දීම සඳහා සහභාගී වීමට අවසර ඇත්තේ අදාළ පක්ෂයේ ලේකම්වරයා,නීතිඥවරයා සහ අපේක්ෂකයාට පමණක් බව මැතිවරණ නීතිය දන්නා ඕනෑම පුද්ගලයකු හොඳින් දන්නා කරුණකි.

ඒ අනුව ඊයේ දිනයේ පැවති නාම යෝජනා භාර දීමේ අවස්ථාව සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරිය, නීතිඥවරයා සහ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පමණක් සහභාගි වූ බව සඳහන් කළ යුතුය.

තත්ත්වය එසේ පැහැදිලි ව තිබියදී එය නොදන්නවා සේ ඊට වෙනත් අර්ථකථන ලබාදෙමින් එක්සත් ජාතික පක්ෂ නායකයා, මහලේකම්වරයා සහ උප නායකයා ඊට සම්බන්ධ නොවූ බව ප්‍රකාශ කරමින් තම දේශපාලන අඳබාලභාවය ප්‍රදර්ශනය කරමින් සිදු කරන අර්ථ විරහිත ප්‍රකාශ රාජපක්ෂ කණ්ඩායමේ දේශපාලන බංකොලොත්භාවය සමාජය හමුවේ නිරාවරණය කර ඇත.

 

එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් වන අතර පවුල් පාලනයක් තුළ වහල් මානසිකත්වයකින් දේශපාලනයේ යෙදෙන පොදුජන පෙරමුණේ දේශපාලන භාවිතයට වඩා එය වෙනස් ජනතාවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී වූවක් බව නැවතත් සිහිපත් කර දීමට කැමැත්තෙමි.

අකිල විරාජ් කාරියවසම්
මහ ලේකම්
එක්සත් ජාතික පක්‍ෂය






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'