Logo
2019 දෙසැම්බර් මස 9 වැනි සඳුදා

ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර මිත්‍රත්වයේ සංකේතයක් ලෙස නා පැල



ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර මිත්‍රත්වයේ සංකේතයක් ලෙස කාම්බෝජයේ ඕක් දොං කඳුකරයේ පිහිටි භාවනා මධ්‍යස්ථානයට (Meditation center of ouk Dong mountain) ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය වන නා පැළ 10ක් ප්‍රදානය කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (10) පෙරවරුවේ සිදු විය.

බුදු දහම මුල්කරගත් කාම්බෝජය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා සෑම ක්ෂේත්‍රයකින්ම වැඩිදියුණු කර ගැනීමේ අරමුණින් කාම්බෝජ රජතුමාගේ විශේෂ ආරාධනය පරිදි ජනාධිපතිතුමා පසුගියදා කාම්බෝජයේ සංචාරයකට එක් වූයේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකු කාම්බෝජයේ රාජ්‍ය සංචාරයකට එක් වූ පළමු අවස්ථාව සනිටුහන් කරමිනි.

උතුම් ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කරමින් ථෙරවාදි බුදු දහම සුරක්ෂිත කර ලොවට බෙදා හැරිමට ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව පුළුල් කාර්යයක් ඉටුකරමින් සිටින අවස්ථාවක ථෙරවාදි බුදුදහමින් පෝෂිත රටක් ලෙස ජනාධිපතිතුමාගේ කාම්බෝජ සංචාරය සිවිශේෂි වූ අතර සිය රාජ්‍ය සංචාරයේ දී දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා ශක්තිමත් කෙරෙන මෙන්ම බෞද්ධාගමික සබඳතා වැඩිදියුණු කෙරෙන වැඩසටහන් කිහිපයකට ද ජනාධිපතිතුමා එක් විය.

එහි ප්‍රධාන වැඩසටහනක් ලෙස මෙම නා පැළ ප්‍රදානය සිදු කෙරිණි.

ප්‍රධාන බෞද්ධාගමික රටක් වුවද නා ගස කාම්බෝජයේ දී දක්නට නොලැබෙන අතර අටවිසි බෝධි වෘක්ෂයන්ට අයත් බෞද්ධාගමික වශයෙන් සුවිශේෂ වැදගත්කමක් ඇති නා පැළ ප්‍රදානයත් සමග දෙරටේ බෞද්ධාගමික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇති බව කාම්බෝජ සංඝරාජ හිමිවරු ප්‍රකාශ කළහ.

එමෙන්ම උන්වහන්සේලා පෙන්වා දුන්නේ කාම්බෝජය සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධාගමික සබඳතාවය ඉතා ඈත අතීතයට විහිද යන බවත්, එම ඉතිහාස කතාවෙන් පසුව දෙරටේ බෞද්ධාගමික සබඳතා තහවුරු කිරීම වෙනුවෙන් කටයුතු කළ නායකයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉතිහාසයට එක්වනු ඇති බවත් ය.

පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ ඇතුළු ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා ද කාම්බෝජ මහා සංඝරාජ හිමිවරු ප්‍රමුඛ ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'