පෙම්බරයාණෙනි - රත්නා ලංකා අබේවික්රම-
සුන්දර හැඟුම් මල් මත විසිරුණු පිනිය
ඉන්දෙන සිසිල පෙම්බර සුවයක් වුණිය
යන්තම් පෙනෙන අහසේ මන්දා කිණිය
හංගන්නට හදන නුඹගේ පෙම වැනිය
දුටු විට හිනැහිලා ගැහුවා මෙන් ඉද්ද
වටපිට නොම බලා යයි නැතුවම සද්ද
කුමරුට මල්සරා මල් හීයෙන් විද්ද
එළිපිට කියන්නට හිත හයියක් නැද්ද
කකියා ළය මඬල රිදවන පෙමක රඟේ
කොකියා ඇට මිදුලු අස්සේ දුවනු හැඟේ
නොකියා සිටින්නට ඔය සිත කරන දඟේ
හැකියාවක් නැද්ද කිව මැන නොකර අගේ
නිස්සද්දය නුඹේ ගීයක් මෙනි ඇසෙන
විස්වාසය දැනේ මහ සවියක් ලෙසින
අස්සක් නෑර ආදරයේ දිය ඉසින
වැස්සක් වෙන්න මගෙ දිවි කතරට වසින
මගෙ හිත නොවේ වැඩියෙන් මා අඳුනන්නේ
ඔය හිත තමා එය නුඹ හොඳ හැටි දන්නේ
නැඟණිය කියා ඉස්සර මෙන් අමතන්නේ
බහ දෙන තුරා මා ඉවසිල්ලෙන් ඉන්නේ
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'